ලෝකයේ සෑම රටක්ම හදවතින්ම ශ්‍රී ලංකාව සමඟ සිටිනවා

ලෝකයේ සෑම රටක්ම හදවතින්ම ශ්‍රී ලංකාව සමඟ සිටින බවට මෑතක දී සිදුවූ ව්‍යසනයෙන් පසුව මෙරටට ලබාදී තිබෙන සහයෝගයෙන් පෙන්නුම් කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ‍ ඊයේ (18) ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ විජිත හේරත් මහතා,

Òඅනපේක්ෂිත ලෙස අපේ රට ව්‍යසනයකට ලක්වුණා. ඒ අවස්ථාවෙ අපි තීන්දු තීරණ ගත්තා. හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත්කරන්න කියා ඉල්ලුවා. ඒ අනුව රජය ඒ තීරණය ගත්තා. මහජන ආරක්ෂක නීතියට අනුව ඒ පියවර ගෙන තිබෙනවා. මේ සිදුවීම සිදුවූ අවස්ථාවේ සිට අපි සියලු දෙනා එක්ව මේ ව්‍යසනයෙන් රට මුදා ගන්න මැදිහත් වුණා. එහි ප්‍රතිඵලයක් තුළ මෙය වෙනස් කරන්න පුළුවන් වුණා. සියලු පාර්ශ්වයන් කැඳවා තිබෙනවා. තීන්දු ගත්තා. විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව මැදිහත් වුණා. පොලීසිය සහාය දුන්නා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ජනතාව මුදා ගන්න කටයුතු කළා. 28දා අපි සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන් කැඳවා දැනුවත් කළා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින තානාපතිවරු අන්තර්ජාලයෙන් සම්බන්ධ වුණා. අපි ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියා. ජනතාව මුදා ගන්න උපකාර ඉල්ලුවා. පැය 6ක් යනවිට ඉන්දියාව හෙලිකොප්ටර් දෙකක් ලංකාවට ලබාදුන්නා. පාකිස්තානය ද හෙලිකොප්ටර් යානයක් අපිට ලබාදුන්නා. ඒ සිදුවීම සිදුවූ කෙටි කලක් තුළ ඉල්ලූ සහාය අනුව ප්‍රතිචාර ලැබුණා.

ලෝකයේ සියලු රටවල් වගේ අපිට මූල්‍යමය, ද්‍රව්‍ය වගේ ආධාර ලබාදුන්නා. වෛද්‍යවරු පැමිණියා. සහන කණ්ඩායම් ආවා. ඒ සැමට අපේ ස්තුතිය පිරිනමනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අපේ මිතුරන් සේ මැදිහත් වුණා. ලතින් අමෙරිකානු කලාපයේ රටවල් පවා අපිට සහාය ලබාදුන්නා. විවිධ රාජ්‍ය නායකයන්, විදෙස් ඇමැතිවරු ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කනගාටුව පළකර තිබෙනවා. අපේ ජනාධිපතිවරයා ඉන්දීය සහ පාකිස්තාන අගමැතිවරුන්ට දුරකතනයෙන් කතා කළා. අපේ දුක බෙදාගෙන ඒ අයගේ සහාය ලබාගත්තා. මාලදිවයින රජය සහ ජනතාව අපේ රටට සහාය ලබාදුන්නා. තවමත් ඒ සහාය ලැබෙනවා. අපි තනි වෙලා නැහැ. මුළු ලෝකයම හදවතින් අපි සමඟ ඉන්නවා කියන පණිවුඩය ලබාදී තිබෙනවා. මුල් අවස්ථාවේ ජනතාවගේ ජීවිත බේරා ගන්න පියවර ගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධ ආයතන අපිට සහාය ලබාදෙනවා. ඒ ආයතන සක්‍රියව දායක වී තිබෙනවා. සිවිල් සංවිධාන අපේ රටට සහාය ලබාදුන්නා. ලොව පුරා සිටින ශ්‍රී ලංකිකයන් ස්වෙච්ඡාවෙන් අපේ රටට උපකාර කරන්න මැදිහත් වුණා.

මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යාංශය විශේෂ ඒකකයක් ස්ථාපිත කළා. අතරමංව සිටින සංචාරකයන්ට තොරතුරු ලබාදෙන්න පියවර ගත්තා. හදිසි දුරකතන අංකයක් ලබාදුන්නා. ඒ වෙනුවෙන් අපි මැදිහත් වුණා. මේ තත්තවයේ දී සංචාරකයන් ලක්ෂ ගණනක් රටේ සිටියා. එක් අයකුට හෝ හානියක් සිදුවූයේ නැහැ.

විපක්ෂයේ බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහාය ලබදුන්නා. පොදුවේ ගත්විට විපක්ෂයේ සියලු දෙනා රටක් ලෙස එකට වැඩ කළා. මේ තත්ත්වය තුළ අපේ සංචරක කර්මාන්තය සක්‍රියව පවත්වාගෙන ගියා. මේ මාසයේ මේ දක්වා 93000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ වසරේ දී ලක්ෂ 22ක් ලංකාවට පැමිණ තිබෙනවා. මේ වසරේ ඉලක්කයක් තිබුණා. නමුත් මේ තිබෙන තත්ත්වය තුළ ඒ මට්ටමට නොගියත් ඩොලර් බිලියන 3 ඉක්මවන ආදායමක් ළඟාකර ගන්න අපිට හැකිව තිබෙනවා. මේ තත්ත්වය නිසා ආර්ථිකය කඩා වැටෙනවා කියනවා. ගෑස් නැතිවෙනවා කියනවා. රට අර්බුදයකට යනවා කියනවා. එවැනි බියක් ඇතිකර ගතයුතු නැහැ. වැටුණු තැනින් අපි ඊටත් වඩා හොඳින් නැගිටිනවා. කිසිදු ලෙසකින් ගෑස් හිඟයක් ඇති වන්නේ නැහැ. ටෙන්ඩර් ක්‍රමයට අනුව නව සමාගමක් තෝරාගෙන තිබෙනවා. ටෙන්ඩර් කමිටුව මඟින් නව සමාගමකට ටෙන්ඩරය ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් ගිවිසුම අත්සන් කර තිබෙනවා. තත්ත්ව පරීක්ෂා කරන්න ද අවස්ථාද දී තිබෙනවා. ජනවාරි 05 වනවිට අලුත් ගෑස් නැව ලංකාවට එනවා. ඒ අනුව කිසිදු ආකාරයකින් ගෑස් හිඟයක් ශ්‍රී ලංකාවේ ඇතිවන්නේ නැහැ.” යැයි පැවැසීය.