ඔබ සජබ සහ නිදහස් පක්ෂය අතර දෝලනය වෙනවා වගේ පෙනෙන්නේ?
අපි සමගි ජන බලවේගයට අයිති සන්ධානයයි නියෝජනය කරන්නේ. ඒ තුළ පක්ෂ ගණනාවක් වෙනවා. නිදසුන් විදිහට රාවුෆ් හකීම් මැතිතුමාගේ පක්ෂය, රිෂාඩ් බදුර්දීන්, සුමන්දිරන් මැතිතුමන්ලාගේ පක්ෂ ආදිය පෙන්වා දෙන්න පුළුවන්. ඒත් මං තවමත් නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්. ඒ අනන්‍යතාව නැති කරගෙන නැහැ. අනෙක, මෙතැනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කණ්ඩායමක් විතරයි සමගි ජන සන්ධානය සමඟ එකතු වී ඉන්නේ.
ඒ අතරතුර ඔබලාගේ පක්ෂය බෙදී වෙන්වෙලා නේද?
ඔව්. කොටස් තුනකට බෙදී තියෙනවා. පිරිසක් නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා එක්ක ඉන්නේ. තවත් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට එකතු වුණා. ඒ හැර මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් විජයදාස රාජපක්ෂ මහතා එක්ක ඉන්නේ. කෙටි කාලයකදී මේ පක්ෂය මෙතරම් විනාශ කළේ පක්ෂයට උඩින් ගිහින් ඇමැතිකම් භාර ගත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමයි. ඒ අයට දැන් පක්ෂය ගැන කතා කරන්නටවත් අයිතියක් නැහැ. ඒත් මං පක්ෂය රැකගෙන හිටියා.
අනෙක මේ වනවිට පක්ෂයට අදාළ නඩු ගණනාවකුත් විභාග වෙනවානේ. ඒ හැර පෙරත් අධිකරණය මඟින් මා පක්ෂයෙන් ඉවත් කිරීම වැරදි බවට නඩු තීන්දු දෙකක් දී තිබෙනවා. ඒ සෑම වතාවකදීම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ලැබුණු ඇමැති බලතල පාවිච්චි කරමින් පෙර කී අය මට පක්ෂ කාර්යාලයට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. ඒත් මං අත්හරින්නේ නැහැ.
ඇත්තෙන්ම, අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය කැඳවිය හැක්කේත් සභාපතිවරයාටම පමණයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපති ධුරය තාවකාලිකව අධිකරණයෙන් අත්හිටුවනු ලැබුවා. ඒ අනුව පක්ෂයට සභාපතිවරයකු අහිමි වුණා. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසගේ පත්වීම් නීතිවිරෝධියි. ඒත් ඒ මහතා ඇතුළු පිරිසක් අනීතිකව දේශපාලන මණ්ඩලය කැඳවනු ලැබුවා. ඒත් ඊට නිල වශයෙන් සම්බන්ධ වුණේ පක්ෂ සාමාජිකයන් තිදෙනකු විතරයි. ඇත්තෙන්ම එහි පහළොස් දෙනකු සිටිය යුතුයි.
හැබැයි, දැන් කලින් කියූ තුන් දෙනාගෙන් දෙදෙනකුව වැඩබලන සභාපති සහ වැඩබලන ලේකම් විදිහටත් පත් කරගෙන තිබෙනවා. ඒකත් වැරදියි.
අනෙක, අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩබලන සභාපතිවරයකු සිටිය නොහැකියි. මෑතකදී ඒ අයම නැවත රැස්වී සභාපතිවරයකු, ලේකම්වරයකු පත් කරගෙන තිබුණත් ඔවුන්ට ඊට බලයක් නැහැ. එහෙව් ඒ අය නිදහස් පක්ෂයේ ගොඩනැඟිල්ලත් බලෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ අයට ඕනෑ අය පත් කරනවා. මං ඒ පත්වීම්වලට විරුද්ධව නඩු පවරා තිබෙනවා. ජනවාරි 10දා එහි නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතයි. නැවත ලේකම්වරයා විදිහට පක්ෂය ඇතුළට යෑමෙන් පසුව භේදයක් නැතිව පක්ෂයේ සියල්ලන් සමඟ සාකච්ඡා කරමින් නැවත එය ගොඩනැඟීම මගේ බලාපොරොත්තුවයි.
ආණ්ඩුවේ ආපදා සහන සැලසීම් හා වන්දි ගෙවීමේ කටයුතු පිළිබඳ සමාජයේ වැඩි කතාබහක් පවතිනවා. ඔබ එය දකින්නේ කොහොමද?
අපේ ගම්වල සමහර සල්ලිකාරයෝ මාර්ග අනතුරක් කළ පසුවත් ඔහොම තමයි. ඊට අදාළව ඇසින් දුටු අයට පවා මුදල් ගෙවා නීතියෙන් බේරෙන්න බලනවා. ඒත් එපමණින් ඉකුත් නොසැලකිල්ලෙන් ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනපතිවරයා යටතේ තියෙන්නේ.
අනෙක, ඉකුත් ආපදාවේදී අදාළ ආයතන කටයුතු කළ විදිහත් වැරදියි. හැබැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ පනතට අනුව 2005 වර්ෂයේ සිටම ඊට අදාළ බලතල බෙදා දී තිබෙනවා. ඉතින්, කාටවත් අදාළ බලතල නොතිබුණැයි කියන්නත් බැහැ. ජනපතිවරයා මේ ගැන පාර්ලිමේන්තුවේදී කියූ දේවල් බිම් මට්ටමේදී වෙනස් වෙලා තියෙන්නේ. දැන් කියන්නේ බඩු මුට්ටු ඇතුළු මුළු ගෙයම විනාශ වුණාම විතරක් ලක්ෂ 50ක් දෙනවා කියලානේ. ඒත් පවතින චක්‍රලේඛ අනුව රජයේ නිලධාරින්ට රුපියල් ලක්ෂ ගණනින් එහෙම සල්ලි වීසි කරන්නත් බැහැ. ඒ විතරක් නෙවෙයි, අනතුරට පත්වූ තැනැත්තන් ගණන, දේපළ හානි, මුළු අලාභය ආදිය පිළිබඳත් තවම හරි දත්ත පවා ආණ්ඩුවට නැහැනේ.
මෙරට ව්‍යසන කළමනාකරණ නීති යාවත්කාලීන විය යුතුද?
දැනට පවතින නීති හොඳටම ප්‍රමාණවත්. ආපදා කළමනාකරණ පනත ඉතා ශක්තිමත්. ඒ යටතේ බොහෝ දේ කළ හැකියි. ඒත් ඒ යටතට ගැනෙන දැන් ගැසට් කර ඇති හදිසි නීතිය නම් වැරදියි. ඒ අනුව එය අත්‍යවශ්‍ය සේවා සඳහා භාවිත කළ හැකියි. හැබැයි දැන් එය මර්දනය සඳහා යොදාගත හැකි තැනකට ගෙනැත්. හරි නීතිය නියම වේලාවේ ක්‍රියාත්මක නොකිරීමත් මෙතනදී වරදක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තබා අධික වැස්සක් පිළිබඳ කියා සිටියා. ඉන්දියාව සහ ජාත්‍යන්තර මාධ්‍යත් විශාල සුළි කුණාටුවක් ගැන කිවුවා. ඒවාට ක්‍රියාත්මක නොවුණේ නීති ප්‍රමාණවත් නොවූ නිසා නෙවෙයිනේ.
වයඹ පළාතේ සහන කටයුතු කෙරෙන්නේ කොහොමද?
මේ විපත වළක්වා ගත හැකිව තිබූ දෙයක්. ඉකුත් මස 27දා පෙරවරුවේත් මම ජනපතිවරයාත් සිටි රැස්වීමකදීත් පවතින ජල මට්ටම්වලට ගංවතුරත් එකතු වුණොත්, වාරියපොළ, නිකවැරටිය, පඬුවස්නුවර, බිංගිරිය, හිරියාල ආදී ආසනවලට වන විනාශය පිළිබඳ අත්දැකීම් අනුව අවධාරණය කළා. ඒත් එදා සවස් වන තුරුත් මුකුත්ම කෙරුණේ නෑ. අර්බුදය තවත් උග්‍ර වුණේ එහෙමයි. දැන් විපක්ෂය විදිහට අපිත් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ මිසෙක අපි ආණ්ඩුව විවේචනය කරමින් කල් ගෙවන්නේ නැහැ. හැබැයි, ආණ්ඩු පක්ෂය විපක්ෂයේ හිටියා නම් මෙහෙම වෙලාවකදී ආපදාව දේශපාලනීකරණය කරන්නේ කොහොමද කියලා බලා ගන්න තිබුණා. හැබැයි, අපි එහෙම කරන්නේ නැහැ.
විපක්ෂය පුළුල් සන්ධානයක් ගැන කතා කළත් තවම එහෙම දෙයක් නැහැ නේද?
අපේ පළමු කාර්යය විය යුත්තේ එක එක සන්ධාන සමඟ එක් වීම නෙවෙයි, මුලින් අපි අපේ පක්ෂය හදාගෙන ඉන්න ඕනෑ. මේ වන විට බිම් මට්ටමෙන් නිදහස් පක්ෂයක් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැබැයි, මම හිටියා නම් පක්ෂය වැටෙන්න දෙන්නේ නැහැ. ගමින් ගමට ගිහින් ජනතාව එක්රැස් කරගෙන නිදහස් පක්ෂය යළි ගොඩනංවනවා. ජනතාව කරබාගෙන ඉන්නේ පක්ෂය ගැන විශ්වාසයක් නැති නිසයි, අද ජවිපෙට, පොදුජන පෙරමුණට ගිහින් තියෙන්නේත් අපේ පක්ෂයේ අය. වැරදි, අඩුපාඩුකම් හදාගෙන, පැරණි දේශපාලනය වෙනුවට අලුත් දේශපාලනයක් ගැන කතා කරනවා නම් අපිට මේ පක්ෂය නඟා සිටුවන්න පුළුවන්.
ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ වැදගත් නේද?
හැබැයි, ගැටලුව වෙලා තියෙන්නේ අද රටේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා දෙයක් නැති එකයි. එයින් කළ වැඩකුත් නැහැ. කරන්නේ මොනවාද නොදන්නා, වැඩපිළිවෙළක් නැති ඒ වැඩසටහනේ එකක් නම් තියෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා එකේ හිටිය අය නම් ක්ලීන් වෙලා තියෙනවා. ඒ එය දේශපාලනීකරණය කරන්නට ඕනෑ කරන කටයුතු ටික නොඅඩුව වූ නිසයි. හැම ගමකම ජවිපෙ සාමාජිකයෙක් අරන් එයාව ක්ලීන් ශ්‍රී ලංකා සාමාජිකයා කෙරුණා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් තවත් නායකයන් පත් කෙරුණා. ජවිපෙ දේශපාලනය කළ අයට නම් තනතුරු දුන්නා. අද වන විට ඒ මණ්ඩලවල හිටි සමහරු අස්වෙලා.
මේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වුණත් ජනපති සහ ඔහුගේ අදාළ උපදේශකවරයා පමණක් දන්නා දෙයක් වෙලා. ඒ මිසෙක සාමාන්‍ය ජනතාව ඒ ගැන දැනුවත් නැහැ. ඩිජිටල් නියෝජ්‍ය ඇමැතිවරයාගේ කම්පැනිය ඊට ඇති සම්බන්ධතාව විමසූ විටදී දැන් ඔහු ඒ ආයතනයේ නැති බවයි පාර්ලිමේන්තුවේදී කියැවුණේ. ඒත් කොම්පැනියේ බහුතර අයිතිය ඇත්තේ ඔහුටයි. ඒක මේ ආණ්ඩුව එක්ක බිස්නස් කරන ක්‍රියාවලියක්. ගවුපේ, යෙදවුම එන්නේ හෙළපේ එකෙන්. ඉතින්, අපි කරන සෑම ගෙවීමකින්ම හෙළපේ එකට ගාණක් යනවා. එහි විනිවිදභාවය, ටෙන්ඩර් පටිපාටිය ගැනත් සැක සහිතයි. කලින් ආණ්ඩු කළා වගේම ගජමිතුරු සමාගමක් එතැන තියෙන්නේ. අනෙක, ඒක ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ. දෙමළ, සිංහල භාෂාවලින් ඇත්තේත් නෑ.
රාජ්‍ය භාණ්ඩාගාරය හොඳ මට්ටමකට ඇවිත් කියලා පිළිගන්නේ නැතිද?
ආණ්ඩුවේ වියදම් කළමනාකරණය නෙවෙයි, ආණ්ඩුවට මුදල් වියදම් කරගන්න බැරි වීමයි මෙතැන ගැටලුව. එහෙමයි භාණ්ඩාගාරය පිරීඉතිරී ගිහින් තියෙන්නේ, ප්‍රාග්ධන වියදම් විදිහට වෙන් කෙරුණු රුපියල් බිලියන 1315ක් පමණ පැවතුණත් දැන් පෙනෙන විදිහට ආණ්ඩුව එයින් රුපියල් බිලියන පන්සිය ගණනක් පමණයි වියදම් කර තිබෙන්නේ. තවත් බිලියන හත්සිය ගණනක් වියදම් කර නැහැ. ඒවායින් භාණ්ඩාගාරය පිරුණා කියලා වැඩක් නැහැනේ. එයින්ම පෙනෙනවා. මෙතැන වැඩ කරන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. වෙනදා අපි එහෙම වසරකට වෙන්කළ මුදලින් 85% – 90%ක් වියදම් කරනවා. එවිට ගම්වල යටිතල පහසුකම් හැදෙනවා. ගමට මුදල් යනවා. හැබැයි, ඉකුත් කාලයේදී ඒක එහෙම වුණේ නැහැ. ජාතික තරුණ සේවා සභාව එක තරුණ රැලියකට නිකරුණේ රුපියල් කෝටි එකහමාරකට වඩා වැය කළා. මේ අනුව පෙනෙන්නේ කලින් ආණ්ඩුවලට තිබූ රෝග මේ ආණ්ඩුවටත් බෝ වෙමින් ඇති බවයි.
නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වී ඇතැයි ජනතාවගෙන් අසන්නට තිබෙනවා නේද?
කොහෙද එහෙම වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සහ සාමාන්‍ය ජනයාට නීතිය ක්‍රියාත්මක කිරීම මොන වගේද කියලා ඉකුත්දා හොඳින් ජනතාවට දක්නට ලැබුණානේ. නීතියේ ආධිපත්‍ය ආණ්ඩුවට අදාළ නැහැ. අනෙක් අයට නම් අදාළයි. මෙරට නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට නම් ඊට පත් කරන අය ස්වාධීනව කටයුතු කරන අය වෙන්න ඕනෑ. එත් ඉතිහාසයේ පළමු වතාවට කැම්පේන් එකේ හිටි අයටයි ඒ ඒ තැන්වල මුල් පුටු දී තිබෙන්නේ. මේ අය දිනපතා නඩු මවමින් විපක්ෂ දේශපාලනඥයන් දඩයම් කරමින් ඉන්නවා. එහෙම තත්ත්වයකදී කොහොමද, නීතියේ ආධිපත්‍යයක් ගැන කතා කරන්නේ. අද වන විට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් බොහෝ සෙයින් ස්ථාන මාරු කර යවා තිබෙනවා. වෙනදා මූලස්ථාන පොලිස් තනතුරු සම්මුඛ සාකච්ඡාවකින් පසුව තෝරා ගැනුණත් අද එහෙම නැහැ.
එහෙමනම් ඔබලාට බලයට ඇවිත් හරියට කරන්න පුළුවන් නේද?
ඒත්, ආණ්ඩුව කළා වගේ අරගලයකින් බලය අරන් නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් බලයට ඒමයි අපේ අරමුණ. මොන කතා කිවුවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අර්බුද යම් කැප කිරීමකින් පසුව යථා තත්ත්වයට ගෙනාවා. ඒ වැඩපිළිවෙළට ජවිපෙ ඇතුළු කණ්ඩායම් බාධා කළා. එවකට උද්ඝෝෂණ දිනපතා පැවැත්වුණා. හැබැයි, දැන් මේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන්න කවුරුත් නෑ. එදා උද්ඝෝෂණය කළ අයනේ අද රට පාලනය කරන්නේ. ඒත් අපි උද්ඝෝෂණ කළ අය නෙවෙයි, කරුණු පැහැදිලි කර දුන් අයයි. ආණ්ඩුවට දේශපාලන ස්ථාවරභාවය හදා ගන්නට අපි හැමදේටම පාරට බැහැලා උද්ඝෝෂණ නොකිරීම තුළ ඉඩ ලැබී තිබෙනවා. හැබැයි, ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන අපි බලන් ඉන්නවා. රටේ ජනතාවට අවශ්‍ය නම් තමයි ආණ්ඩු පෙරළන්න ඕනෑ වෙන්නේ. එතෙක් විපක්ෂ දේශපාලන බලවේග විදිහට අපි එකට එකතු වෙලා වැඩ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
නුවන් මහේෂ් ජයවික්‍රම








