රුපියල් 3,200 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, පසුගිය ඔක්තෝබර් මස 19 වැනිදා සිය යතුරුපැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගත් බවත්, නීති මඟින් ක්‍රියා නොකර සිය රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට නම් රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙසට පොලිස් සැරයන්වරයෙක් ප්‍රකාශ කළ බවත් පවසා පුද්ගලයෙකු විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

සැකකාර පොලිස් සැරයන්වරයා පළමුවෙන් රුපියල් 2,200 ක් ඉල්ලා පසුව තවත් රුපියල් 1,000ක මුදලක් වැඩිපුර ඉල්ලා ඇති අතර, අදාළ සැකකාර පොලිස් සැරයන්වරයා හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන (වැඩබලන ස්ථානාධිපති රථවාහන) නිලධාරියෙකු වන බවයි පැවසෙන්නේ.

මෙම සැකකරු ඊයේ පස්වරු 4.10 ට පමණ හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.