මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයට මි.මී. 200 කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, එම අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන්, මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08 කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මැදදුම්බර හා මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම රතු නිවේදනය අදාළ වන බවයි සඳහන් වන්නේ.
නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර පවසා සිටියා.
පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව සමඟ නායයෑමේ පූර්ව ලක්ෂණ බොහෝමයක් ප්‍රදේශවල දක්නට ලැබෙන බැවින්, නිවාස සහ ගොඩනැඟිලිවල ඉරිතැලීම් ඇත්තම් එම ස්ථානවලට යෑමෙන් වලකින ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.








