‘දිට්වා‘ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාල සීමාව මෙම මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ. ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට උප තැපැල් / තැපැල් කාර්යාල මඟින් සාමාන්‍ය ලෙස විශ්‍රාම වැටුප සෑම මසකම 9 සිට 15 දක්වා ලබාදීම සිදු කරයි.
එහෙත් දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට සිදුවූ ආපදා තත්ත්වයන් හා තැපැල් කාර්යාල වෙත ළඟා වීමේ ගමන් මාර්ග විනාශ වීම හේතුවෙන් මුහුණදී ඇති ගමනාගමන අපහසුතා සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප ලබාගැනීමේ කාලසීමාව දීර්ඝ කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කරයි.
ඒ අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප, දෙසැම්බර් මාසය පුරාම වැඩ කරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාලය හෝ උප තැපැල් කාර්යාල මඟින් ගොවීන්ට ලබාගත හැකි වේ.
දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178,753 වන අතර ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් ප්‍රමාණය 6,312 වේ. දෙසැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 413ක් වැය කරයි.
බුද්ධිකා ඉඹුලාන








