RDA, ලංවිම හා ජල මණ්ඩලයට බිලියන ගණනක ආපදා හානි

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආර්ථික පාඩු පිළිබඳව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා (Sectoral Oversight Committee) කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග සහ පාලම්වලට බරපතල හානි සිදු වී ඇති අතර, එහිදී මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) ආසන්න වශයෙන් රුපියල් බිලියන 75ක පාඩුවක් සිදුව ඇති බවයි එම නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දී ඇත්තේ.

මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මාර්ග ගණන 316 ක් වන අතර පාලම් සංඛ්‍යාව 40ක්.

එබැවින් සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය වන මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 190ක් බවයි සඳහන්.

මේ සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 2 ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) සිදුව ඇති පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 20ක් බවයි වාර්තා වුණේ.

මෙහිදී, ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ණය වෙනුවට ප්‍රදාන ආධාර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි කමිටු සභාපතිවරයා මණ්ඩලයට දැනුම් දුන්නේ.

මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුව ඇති ඇස්තමේන්තුගත පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.6ක් බවයි අනාවරණ වුණේ.

මේ වන විට හානියට පත් ජල සම්පාදන යෝජනා ක්‍රම 156 ක් නඩත්තු කටයුතුවලින් පසු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒවා ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ප්‍රදාන අරමුදල් ලබා ගැනීමටයි පියවර ගනිමින් සිටින්නේ.

එමෙන්ම ලංකා විදුලිබල සමාගමට (LECO) සිදු වූ පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 252ක්.

පවතින ප්‍රතිපාදන මගින් ඒවා අලුත්වැඩියා කටයුතු සිදු කළ හැකි බවයි පවසා ඇත්තේ.

මූලික යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා (Sectoral Oversight Committee) රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වුණා.

එම කමිටුවේ සභාපති එස්.එම්. මරික්කාර් අවධාරණය කළේ, මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ යාන්ත්‍රණයක් ඇති කිරීමට අමාත්‍යාංශය පියවර ගත යුතු බවයි.