ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කිරීමට පියවර

ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ ‘මාන් ෆාමසූටිකල්’ පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතා කිරීම තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝෂයක් හේතුවෙන් සංකූලතා ඇති වූ බවට පවතින සැකය මත මෙම තීරණය ගෙන ඇති බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ.

එසේම ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ ‘මාන් ෆාමසූටිකල්’ පෞද්ගලික සමාගම වෙත දින 28 ක් තුළ විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන ලෙස ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී තිබෙනවා.

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ.