ජාතික ඔලිම්පික් කමිටුවේ නිල කාලය ලබන 27 වැනිදා අවසන් වන බවත්, නිලවරණයක් පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමේ ක්‍රියාවලිය සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා විධායක සභාව පැහැර හැර ඇති බවත්, එය ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.
නිලවරණයක් නොපවත්වා බලහත්කාරී ලෙස තවදුරටත් ඔලිම්පික් කමිටු සභාපතිවරයා හා විධායක සභාව කටයුතු කළහොත් ඔවුන් නීතිය හමුවට රැගෙන යන බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අනතුරු ඇඟවීම් කළේය. නිල කාලය අවසන් වූ පසු ජාතික ඔලිම්පික් කමිටුවේ සියලු තනතුරු අහෝසි වී යන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
“අපි කියන්නේ මේ ප්රශ්නය සාමකාමීව විසඳා ගමු කියලයි. ක්‍රීඩාව නඟා සිටුවන්න කියා ඇවිත් නීතිවිරෝධි වැඩ කරන්න දෙන්න බෑ. තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන්නේ මහ සභාවට. අපි කියන්නේ මහ සභාව කැඳවලා ඊළඟ පියවර කියන්න. එවිට අපේ සහයෝගය දෙන්න පුළුවන්. දුර දිග යන්නේ නැතිව මේ වැරැද්ද නිවැරදි කර ගන්න පුළුවන්. සභාපති පමණක් නොවෙයි විධායක කමිටු නිලධාරීන් ද වගකීම ඉටු නොකිරීම පිළිබඳ ඉදිරියේදී නීතිය හමුවට ගෙන එනවා” ජස්වර් උමර් මහතා පැවසීය.
“ඔලිම්පික් කමිටුවේ විගණනය අවසන් වනතුරු නිලවරණයක් නෑ කියා සභාපති කියනවා. අපි අහන්නේ විගණනය අවසන් වන්න වසර ගණනාවක් ගියොත් ඒ වන තුරු දැනට සිටින සභාපති හා විධායක කමිටුව සිටිය යුතුද? කියන ප්රශ්නයයි. නිලවරණයකින් හා මහා සභාවේ අනුමැතියකින් තොරව ලේකම්වරයෙක් පත්කර ගෙන තිබෙනවා. භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික, උප සභාපති හා විධායක කමිටු සාමාජිකයෙක් සුරේෂ් සුබ්‍රමනියම් මහතා හිතුමනාපයට පත්කර ගෙන තිබෙනවා. මේවා වැරදි වැඩ. මහා සභාවේ අනුමැතියකින් තොරව සභාපතිට ඕනෑ අය විධායක සභාවට පත් කරන්න බෑ” ජස්වර් උමර් මහතා පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික සංගම් 31ක් ඇති බවත් භාණ්ඩාගාරික කෙනෙක් නොසිටි අවස්ථාවක භාණ්ඩාගාරික තනතුරට අයෙක් පත් කිරීමේ අයිතිය මහා සභාවට හිමිවිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් සතු මුදල් පරිස්සම් කරගෙන ගනුදෙනු කරන ලෙස මා ඇතුළු සාමාජිකයන් පිරිසක් බැංකුවට දැනුම්දීම පිළිබඳ අද ඔලිම්පික් සභාපතිවරයාට ප්‍රශ්නයක් වී ඇතැයි ඒ මහතා පැවසීය.
“ඔලිම්පික් කමිටුවේ රුපියල් මිලියන 100ක ස්ථාවර තැන්පතුවක් තිබුණා. අද ඒ මුදල තියෙනවාද? නැද්ද? කියා සභාපති පිළිතුරු දිය යුතුයි. පසුගිය දිනවල නීති උපදේශකයන්ට එක්කෝටි තුන් ලක්ෂයක් දීලා තියෙනවා. වාහන අරන් තියෙනවා. ස්ථාවර තැන්පතුවට වග කියන්නේ කවුද? අය – වැයක් මහ සභාවකින් සම්මත නොකර වියදම් කරන්නේ කොහොමද? මේවාට විධායක සභාවම වග කිව යුතුයි. නිලවරණයකින් පත් නොවූ පිරිසක් තියාගෙන කරන ගනුදෙනුවල විනිවිදභාවය හා වගකීම කුමක්ද? යන ප්රශ්නය අපි මතු කරනවා.
“ඔලිම්පික් සභාපතිවරයාගේ පෞද්ගලික අභිමතය පරිදි විධායක සභාවෙන් කෙනෙක් භාණ්ඩාගාරික ලෙස පත්කර ගත්තා. ඒක නීතිවිරෝධි වැඩක්. එවැනි අවස්ථාවක වගකිව යුතු සංගම් ලෙස අපට කරන්න තිබුණේ ක්‍රීඩා ඇමැතිතුමාට දැනුම් දෙන එක. ක්‍රීඩා පනත අනුව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්ට ලිපියක් යැව්වා. ඔලිම්පික් කමිටුවේ ගිණුම් කටයුතු කරන රජයේ බැංකුවට දැනුම් දුන්නා. මුදල් ගනුදෙනුවලදී අත්සන වෙනස් නම් ප්‍රවේශම් වන ලෙස අපි කිවුවා. මේ මුදල් අවභාවිතා විය හැකි බව අපි දැනුම් දුන්නා. එවිට බැංකුව ගිණුම තාවකාලිකව අත්හිටෙව්වා. විධායක කමිටුවට හෝ සභාපතිට දැනුම් නොදී බැංකුව දැනුම්වත් කළේ කොහොමද කියා දැන් අපෙන් අහනවා. ඉදිරියේදී පාපන්දු සම්මේලනය හැටියට මට තනතුරු අහිමි වන බව දැනුම් දී තිබෙනවා.
“අපට නීති මඟින් කටයුතු කරන බවට දැනුම්දුන් ලිපියත් සැක සහිතයි. මේ ලිපිය සුබ්‍රමනියම් මහතාගේ තරහකාරයෙක් එව්වාද කියා සැකයි. මොකද මේ ලිපියේ අත්සන තීන්ත යොදා නිල මුද්‍රාවකින් කර තිබෙන්නේ. ඔහු ලිපිය ලියන දිනයේ ඩුබායිවල රෝහලක ප්‍රතිකාර ගනිමින් හිටියේ. චෝදනා ලිපියේ සඳහන් කරුණක් වන්නේ පාපන්දු සම්මේලනයේ ලිපි ශීර්ෂයක් මඟින් ලිපිය යොමු නොකිරීම. මම පෞද්ගලිකව ලිපියක් යොමු කළා කියපු ඔලිම්පික් සභාපතිවරයා මට චෝදනා එවන්නේ පාපන්දු සභාපති කියන නමටයි. අපේ නීතිඥ මණ්ඩලය මඟින් මේකට පිළිතුරු යවනවා” ජස්වර් උමර් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිසිදු ක්‍රීඩා සංගමයකට එරෙහිව පියවරක් ගැනීමට නීත්‍යනුකූල පියවරක් ගැනීමට සුරේෂ් සුබ්‍රමනියම් මහතාට ව්‍යවස්ථා බලයක් නොමැති බව පාපන්දු සභාපතිවරයා අවධාරණය කළේය. “චන්දන ලියනගේ මහතාව අසාධාරණ ලෙස කිසිම පරීක්ෂණයක් නැතිව තහනම් කළා. ඒ වගේ කිහිප දෙනකුට තහනම් කරලා ඉදිරියේ තනතුරු දැරීම අහෝසි කරන්න යනවා. මේක ජාත්‍යන්තර තහනමක් වෙත ඔලිම්පික් කමිටුව යොමු කිරීමේ කුමන්ත්‍රණයක් ද කියා සැක සහිතයි” උමර් මහතා සඳහන් කළේය.
ප්‍රින්ස් ගුණසේකර








