ආපදාවේ හානිය බිලියන 7 පනී
‘Rebuilding Sri Lanka’ අරමුදලට බිලියන 3.4ක්
සුළි කුණාටුවෙන් විනාශයට පත්වුණු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට රජය තීරණය කර තිබේ.
ආපදා තත්ත්වයෙන් සිදුවූ හානිය පිළිබඳව මේ වනවිට ලෝක බැංකුව සහ අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයන් විසින් තක්සේරු වාර්තාවක් සකස් කරමින් සිටින බවද එය අවසන් වූ වහාම ආධාර සමුළුව කැඳවීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 7-8ත් අතර ප්‍රමාණයක අලාභයක් ලංකාවට සිදුව ඇතැයි අනුමාන කළහැකි බව පෙන්වාදෙන ඒ මහතා ඒ අනුව අන්තර්ජාතික වශයෙන්ද සහාය ලබාගෙන නැවත ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කරන බව සඳහන් කරයි.
නොවැම්බර් 28 වැනි දින ගොඩබිමට කඩාවැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රටපුරා ගංගා ආශ්රිත දරුණු ගංවතුර සහ නායයෑම් ඇති වූ අතර, එමඟින් පුද්ගලයන් 600කට වැඩි පිරිසක් මියගිය බව පෙන්වාදෙන ඇමැතිවරයා මහාමාර්ග, විදුලි සම්ප්‍රේෂණ මාර්ග, වාරිමාර්ග ටැංකි සහ ඇළ මාර්ග, ගොඩනැඟිලි ඇතුළු යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදුව තිබෙන බවද පෙන්වාදෙයි.
ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍ය සම්පත් රැස් කිරීම වෙනුවෙන් රජය දැනටමත් ශ්‍රී ලංකා ප්‍රතිසංස්කරණ අරමුදල පිහිටුවා ඇති අතර, ඒ සඳහා මේ වනවිට ව්‍යාපාරික නායකයන්ගේ දායකත්වයන් ඇතුළුව රුපියල් බිලියන 3.4කට අධික පරිත්‍යාග ලැබී තිබෙන බවද හදිසි ආධාර ලබාදීමට රටවල් කිහිපයක් එකඟතාව පළකර තිබෙන අතර, පළමුව ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාව බවද ඒ මහතා කියයි. සහයෝගය ලබා දී ඇති අනෙකුත් රටවල් අතරට එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, පකිස්තානය, රුසියාව, චීනය, එක්සත් රාජධානිය, මාලදිවයින, බංග්ලාදේශය, මියන්මාරය, තුර්කිය සහ ජපානය ඇතුළත් වේ. මීට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි මානුෂීය හවුල්කරුවන් පසුගිය සතියේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක් (HPP) දියත් කළ අතර, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා ජීවිතාරක්ෂක ආධාර ඉහළ නැංවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 10.9ක්) ඉල්ලා තිබේ. 2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් 658,000ක් වෙත ළඟාවීම මෙම සැලැස්මේ අරමුණ වන අතර ජාත්‍යන්තර ආධාර සඳහා රජයේ ඉල්ලීම අනුගමනය කරන බව ද ඇමැතිවරයා පවසයි.
එය දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශ සහ ජනගහනයට සහාය ලබාදීමෙන් අඛණ්ඩ ජාතික ප්රයත්නයන් සම්පූර්ණ කරන අතර මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම මඟින් අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව, කෘෂිකර්මාන්තය සහ පෝෂණය, සෞඛ්‍ය, ආරක්ෂාව, නවාතැන් සහ ආහාර නොවන ද්‍රව්‍ය, කඳවුරු සම්බන්ධීකරණය, ජලය, සනීපාරක්ෂාව සහ ඉක්මන් සුවය ඇතුළු තීරණාත්මක අංශ ආවරණය කෙරේ.
මහින්ද අලුත්ගෙදර








