හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව, එම අරමුදල් සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇති බවයි ලෝක බැංකුව ප්‍රකාශ කර සිටින්නේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බවත්, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පෙන්වන ලද කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් දියත් කිරීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගයන් අගය කරන බවයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.