පසුගිය දිනවල ඇති වූ නායයෑම් සහ ගංවතුර තත්ත්වය නිසා ආපදාවට ලක් වූ පුද්ගලයන් ලක්ෂ 10කට වැඩි පිරිසකගේ උප්පැන්න සහ විවාහ ලියාපදිංචි සහතික විනාශයට ලක්ව ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් ශෂී දේවී ජලදීපන් මහත්මිය පැවසුවාය. මෙම පිරිසට ලබන ජනවාරි මාසයට පෙර උප්පැන්න හා විවාහ ලියාපංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රජය අපේක්ෂා කරන අතර නැවත උප්පැන්න සහ විවාහ ලියාපදිංචි සහතික ලබාදීම සඳහා ජංගම සේවා වැඩසටහන් දැනටමත් ආරම්භ කර තිබේ.
මරණයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන්, මරණ සහතික නිකුත් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන්, මරණ සහතික නිකුත් කිරීම සඳහා අදාළ අයදුම්පත් භාර ගැනීම සහ හානියට පත්වූ විවාහ/ උප්පැන්න/ මරණ සහතික පිටපත් ලබාදීම මෙම ජංගම සේවාව මඟින් සිදු කිරීමට නියමිතය. පසුගියදා ඇතිවූ මෙම ව්‍යසන තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයන් ලක්ෂ 22කට ආසන්න පිරිසකගෙන් අවම වශයෙන් මිලියනයට වැඩි පිරිසකගේ උප්පැන්න හා විවාහ සහතික විනාශ වී ගොස් ඇති බවට අනුමාන කෙරෙන අතර ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක 22ක පුද්ගලයන්ට එක්දින කඩිනම් සේවාව යටතේ නොමිලේ මෙම ලියාපදිංචි සහතික නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර ඇතැයි රෙජිස්ටර් ජනරාල්වරිය සඳහන් කළාය. මෙම උප්පැන්න හා විවාහ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා දෙන අතර ඇතැම් අවස්ථාවල දී රාජ්‍ය නොවන සංවිධානයන්හි සහයෝගය ලබා ගැනීමට නියමිතය.
මේ වන විට මුලතිව් සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි මෙම ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට උප්පැන්න හා විවාහ ලියාපදිංචි සහතික නොමැති පුද්ගලයන්ගේ දත්තයන් හා තොරතුරු රැස්කිරීම දිස්ත්‍රික් නියෝජ්‍ය රේජිස්ට්රාර්වරුන් හරහා සිදු කරමින් පවතියි.
නෙරංජලා වික්‍රමසිංහ








