ආපදා නිසා අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු නාඳුනන පුද්ගලයින්ට ලබා දෙන්න එපා – පොලිසිය

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිතභාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැක බලා ගැනීම හා ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දරුවන් ඔවුන් භාරයට පත් කරන ලෙස ඉල්ලීම් කරමින් විවිධ දුරකථන අංක පළ කරමින් ඒවාට දරුවන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පණිවුඩ සංසරණය වන බවට ශ්‍රී ලංකා පොලීසියට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව, මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පළ කරනු ලබන ඇතැම් නොහඳුනන පුද්ගලයින් විසින් අනාරක්ෂිතභාවයට පත් වූ දරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා ලබා ගැනීමෙන් පසු, එම දරුවන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සහන සපයන මුවාවෙන් විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොමු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවයි පොලීසිය අනතුරු අඟවා සිටින්නේ.

එසේම, එම අනාරක්ෂිත දරුවන් ලිංගික අපයෝජන, ළමා අපචාර, මෙහෙකාර සේවයේ යෙදවීම හා ළමුන් කෲරත්වයට පත්වීම ආදිය සිදුවිය හැකි බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස දුරකථන අංක පළ කරමින්, අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත එම දරුවන්ගේ තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින ලෙසයි පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 news images