දිවයිනේ සියලුම පාසල් හෙට (16) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතත් පැවැති ආපදා තත්ත්වයත් සමඟ පාසල් පැවැත්වීම සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට අදාළ පළාත්, දිස්ත්‍රික් බලධාරීන්ට බලය ලබාදී ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නැවත ආරම්භ කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්රයේ මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් පරිවේණාධිපති ස්වාමීන්වහන්සේලා, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා විදුහල්පත්වරුන් දැනුම්වත් කිරීම සඳහා නුවරඑළිය සිනෙසිටා ශාලාවේ දී පසුගියදා (13) පැවැත්විණි.
අවදානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල්වලට ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ වාර්තා ලබා ගැනීමට අනිවාර්ය බවත්, ප්‍රවේශ මාර්ග හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු අතර, පාසල් යාම දරුවන්ට බරක් නොවියයුතු බවත්, ගුරු භවතුන්ට හා දරුවන්ට පහසු ඇඳුමක් පැලඳීමේ අවස්ථාව ඇති බවත් අගමැතිතුමිය අවධාරණය කළාය.
වාර විභාග, විෂය නිර්දේශවලින් ඔබ්බට දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සාහ කරන ලෙසත්, ආපදාවලින් අගතියට පත් ළමයින් එයින් මුදා ගැනීමට නම්‍යශීලිව අවශ්‍ය කටයුතු යොදන ලෙසත් මෙහි දී අග්‍රාමාත්‍යතුමිය අවශ්‍ය අපදෙස් ලබා දුන්නාය.
කුමන බාධක පැමිණියත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදුකරන බව හා මේ වන විට ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු 51%ක් අවසන් බවත් හරිණි අමරසූරිය අගමැතිතුමිය පැවසුවාය.
මෙම ස්වාභාවික ව්‍යසනයෙන් පසුව රට පැවැති තත්ත්වයට නොව එයට වඩා ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවීමෙන් වැඩ කළයුතු බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මෙම විශේෂ සාකඡාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුෂ්කා දර්ශනී තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන යන මහත්ම මහත්මීන් හා මහජන නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.
මස්කෙළිය සමූහ ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක








