රුපියල් කෝටි 21 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග එක් පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසකට ආසන්න වන අතර, මීට අමතරව ජාවාරම්කරු සතුව තිබී රුපියල් පහළොස් ලක්ෂ දහනව දහසක් වටිනා අමෙරිකානු ඩොලර් 4,900 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු විසින් විවිධ පුද්ගලයින් යොදවා විදේශ රටවල්වලින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත්, පසුව රට පුරා එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවා ඇති බවයි පැවසෙන්නේ.