පේරාදෙණියේ යකා පාලම ගැන ශක්‍යතා අධ්‍යයනයක්

මහවැලි ගංගාවේ ගලා ගිය අධික ජල ධාරාව හේතුවෙන් හානියට පත් සරසවි උයන සහ  පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟට ඉහළින් ඉදිකර ඇති දුම්රිය පාලම හෙවත්  “යකා පාලම ” සඳහා ඉංජිනේරුමය විසදුමක් ලබාදීම සඳහා වූ ශක්‍යතා අධ්‍යයනයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දියත් කොට තිබේ.

පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය මාර්ගය සම්බන්ධ කොට මහවැලි ගංගාව හරස් කොට ඉදි කොට ඇති මෙම පාලම දිගින් අඩි 348කින් යුක්ත වේ.

බ්‍රිතාන්‍යය හොරස් සමාගම මගින් කොටස් 04ක් වශයෙන් ගෙන්වා වර්ෂ 1897දී සවි කොට ඇති මෙම පාලම මැද කොටසේ ආධාරක කණු අධික වර්ෂය හේතුවෙන් හානි වී තිබේ.

මේ වන විටත් විශාල උණ පදුරු එහි රැදි ඇති බැවින් මුලින්ම පාලම පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ දිස්ත්‍රික් දුම්රිය අධිකාරී ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.

දැනට උණ පදුරු ඇතුලු අවහිර වී ඇති කොටස් ඉවත් කරන බවත් අනතුරුව පාලමේ පාදමට සහ සෙසු කොටස්වලට සිදුව ඇති හානිය පරීක්ෂා කරන බවත් ඒ මහතා පැවසුවේය.

ඒ අනුව ආපදා තත්වය හේතුවෙන් යකා පාලමට සිදුව ඇති හානිය කොතෙක්ද යන්න වාර්තාවක  ලබා ගැනී සදහා  පාලම වටා තවමත් රැදී ඇති කුණු කසල ඉවත් කිරීම මේ වන විට නාවික හමුදාවේ මැදිහත්වීම මත සිදුකෙරේ.

මහනුවර කොළඹ, දුම්රිය මෙම පාලම මතින් ගමන් කරන අතර පාලමට සිදුව ඇති හානිය නිසා එය ප්‍රතිසංස්කරණය කිරීමට පෙර සිදුව ඇති හානිය පරීක්ෂා කරන බවත් ඒ සඳහා  ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පේරාදෙණය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ දායකත්වය හිමිවී තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් සරසවියේ සහ  පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟට ඉහළින් ඉදිකර ඇති දුම්රිය පාලම හෙවත්  “යකා පාලම ” නිරීක්ෂණය සඳහා ප්‍රවාහනය, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා (13) එක් වූහ.