ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන 15 ක් දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 42 ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පුද්ගලයින් 1,000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන්, සිඩ්නි හි ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන ‘හනුක්කා’ සැමරුම, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති බව සඳහන් වෙනවා.

අදාළ වෙඩික්කරුවන් දෙදෙනා පියපුතු දෙපලක් බවට පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර, පොලිස් වෙඩි පහරින් පියා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සලකා වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.