දිට්වා කළ හදියට සිංගප්පූරුවෙනුත් මුදල් ආධාර

ශ්‍රී ලංකාවේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා සහාය වීමට ආරම්භයක් ලෙස සිංගප්පූරු රජය ඇමරිකානු ඩොලර් 100,000 ක මුදල් ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සිංගප්පූරු රජය මෙරට ආපදාවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා ලබාදීමට පොරොන්දු වූ සිංගප්පූරු ඩොලර් 50,000ට අමතරවයි.

සිංගප්පූරු රජය විසින් මෙම මුදල් සිංගප්පූරු රතු කුරුස සංවිධානයේ (SRC) මහජන අරමුදල් රැස් කිරීමේ ප්‍රයත්නයන් සඳහා ආරම්භක මුදල් ලෙස ලබාදීමට නියමිතයි.

මේ අතර, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂණ්මුගරත්නම් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මෙරට ජනාධිපතිවරයා වෙත සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ශෝක පණිවිඩ ද යොමු කර තිබුණා.

මෙම ශෝක පණිවිඩ යොමු කර ඇත්තේ සුළි කුණාටුවෙන් සිදුවූ ඛේදනීය ජීවිත හානි සහ විනාශය පිළිබඳව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කිරීමටයි.