වෙනිසියුලා තෙල් ටැංකියක් අල්ලා ගත් බව ට්‍රම්ප් කියයි

අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වූ විශාල තෙල් ටැංකියක් අත්පත් කර ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, “අපි වෙනිසියුලා වෙරළේදී ටැංකියක් අත්පත් කර ගත්තා – විශාල ටැංකියක්, ඇත්තටම මෙතෙක් අත්පත් කර ගත් විශාලතම එක” යනුවෙන්.

අමෙරිකානු නීතිපති පැම් බොන්ඩි මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම නෞකාව “වෙනිසියුලාවෙන් සහ ඉරානයෙන් තහනම් කරන ලද තෙල් ප්‍රවාහනය කිරීමට භාවිතා කළ බොරතෙල් ටැංකියක්” බවයි.

මෙම නෞකාව “විදේශීය ත්‍රස්තවාදී සංවිධානවලට සහාය වන නීති විරෝධී තෙල් ප්‍රවාහන ජාලයකට” සම්බන්ධ වීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ අමෙරිකාව විසින් සම්බාධකවලට ලක් කර ඇති බවයි ඇය තවදුරටත් කියා සිටියේ.

වෙනිසියුලාවේ රජය මෙම ක්‍රියාව “ජාත්‍යන්තර මුහුදු කොල්ලකෑමක්” ලෙස හෙළා දුටු අතර, විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, මෙය “පැහැදිලි සොරකමක්” බවයි.

වෙනිසියුලාව කිසි විටෙකත් “තෙල් යටත් විජිතයක්” නොවන බවයි ජනාධිපති මදුරෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

මෙම අත්අඩංගුවට ගැනීම FBI, ආරක්ෂක දෙපාර්තමේන්තුව, DHS සහ අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය එක්වයි සම්බන්ධීකරණය කර ඇත්තේ.

මෙම තෙල් ටැංකියේ ඇති තෙල්වලට කුමක් සිදුවේ දැයි මාධ්‍යවේදීන් ඇසූ විට ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ, “අපි ඒක තියාගන්නවා, මම හිතන්නේ… අපි තෙල් තියාගනීවි කියලා මම උපකල්පනය කරනවා” යනුවෙන්.

මෙම සිදුවීමත් සමග තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙය වෙනිසියුලාවේ තෙල් අපනයනයට තවදුරටත් බාධා ඇති කළ හැකි බවටයි විශ්ලේෂකයෝ අනතුරු අඟවන්නේ.

අමෙරිකාව මෑත දිනවලදී වෙනිසියුලාවට උතුරින් මායිම්ව ඇති කැරිබියන් මුහුදේ සිය හමුදාව වැඩි කර තිබෙනවා.

ලොව විශාලතම යුධ නෞකාව වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන USS Gerald Ford වෙනිසියුලාවට පහර දිය හැකි දුරකින් ස්ථානගත කර ඇති බව වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සැප්තැම්බර් මාසයේ සිට අමෙරිකාව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට චෝදනා කරමින් යාත්‍රා 22කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, එම ප්‍රහාරවලින් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.