2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ දී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී, මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙස අල්ලස් කොමිසම විසින් අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 13 ක් සංශෝධනය කිරීමට අධිකරණය අවසර ලබා දුන් අතර, එහි දී විත්තිකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සංශෝධිත චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ඒවා අධ්‍යයනය කිරීමට කාලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිට තිබෙනවා.
ඉන් අනතුරුව අදාළ නඩුව යළි ජනවාරි මස 29 වැනිදා කැඳවීමට විනිසුරුවරයා නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








