කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයෙක්, අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අධිවේගී මාර්ගයේ 19 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී, කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ මගීන් පිරිසක් රැගත් වෑන් රථයක රියදුරෙකු විසින් අපද්‍රව්‍ය සහිත බෑගයක් අධිවේගී මාර්ගයට බැහැර කිරීම පිළිබඳව ජංගම සංචාර රාජකාරී නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව, එම නිලධාරීන් විසින් වහාම සීදූව අනුපාලක ස්ථානය දැනුවත් කර ඇති අතර, එහි දී එම ස්ථානයේ රාජකාරී නිලධාරීන් විසින් මංමාවත් පනත යටතේ මාර්ගයට කුණු කසළ බැහැර කිරීමේ චෝදනාව මත අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු අද (11) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.