ශ්‍රී ලංකාවේ සිටි එකම කහ ඇනකොන්ඩා පැටවා
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි එකම කහ ඇනකොන්ඩා පැටවා කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් තිබේ. ජාතික සත්ත්වෝද්‍යානය ඒ සම්බන්ධයෙන් පසුගිය 7දා දෙහිවල පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත. ඉකුත් දිනෙක කාන්තාවක විසින් නීති විරෝධි ලෙස රැගෙන ආ මෙම ඇනකොන්ඩා ඇතුළු සර්ප විශේෂ 4කට අයත් සර්පයින් 6 දෙනකු කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වෙත භාර දී තිබේ. අනතුරුව, උරගඋයන තුළ එම සතුන් නිරෝධායනය සඳහා යොමුකර සිටියදී ඉකුත් 07දා සත්ත්වෝද්‍යානය සතුව සිටි අවුරුද්දක් වයසැති අඩි 1 1/2′ – 2′ දිග ලංකාවේ එකම කහ ඇනකොන්ඩා පැටවා සොරකම් කර ඇති බවට පාලනාධිකාරිය පැමිණිල්ල මඟින් කියා ඇත.
මේ පිළිබඳ සත්ත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත්, මෙම උරගයින් භාරව සිටි සත්ත්ව භාරකරුට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවත් පැවැසීය.
දෙහිවල – ඩී.පී.හේරත්








