සෙලවුණු ජපානයේ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

ජපානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණේ ඊයේ රාත්‍රියේදීයි.

එම භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර, පසුව එය ඉවත් කර තිබුණා.

ඒ හේතුවෙන් හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරාහි අමෝරි ප්‍රාන්ත වරායන් වෙත සෙන්ටිමීටර 40ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණ තිබූ බවද වාර්තා වුණා.

එමෙන්ම භූ කම්පනයත් සමග දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවී ඇති බවට වාර්තා පළවනවා.

භූ කම්පන තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශවල දුම්රිය ධාවනය ද අත්හිටුවා ඇති අතර, නිවාස දහස් ගණනකට විදුලිය ද ඇණහිට තිබෙනවා.