විපක්ෂය දිගින් දිගටම එරෙහි වන නිසා විගණකාධිපති පත් කිරීම කල් යයි – විගණන රැසක් අතරමග

නව විගණකාධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ කඹ ඇදිල්ලක් පවතින බව වාර්තාවේ.

මෙම තනතුරට විධිමත් පත්කිරීමට ඉඩ නොදීම දේශපාලන කුමන්ත්‍රණයක් බවටද වාර්තාවේ.

හිටපු විගණකාධි ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු නව විගණකාධිපතිවරයෙක් පත් කිරීම මාස හයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබේ.

හිටපු විගණකාධිවරයා පසුගිය අප්‍රේල් මාසයේදී විශ්‍රාම ගිය අතර එම හිස් වූ ධූරය සදහා සුදුසු නමක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යොමු කළේය. එහෙත් ඊට ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නියෝජිතයෝ විරෝධය දැක්වීම නිසා ප්‍රතික්ෂේප විය.

අනතුරුව දැනට දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා වැඩ බැලීම සඳහා පත් කළේය. ඒ මාස තුනකටය. යළි ඔහුගේ නම තවත් මාස තුනකට වැඩ බැලීමට පත් කළද ව්‍යවස්ථා සභාව එයද ප්‍රතික්ෂේප කළේය. ඒ ඔහු සම්බන්ධයෙන් පවතින කිසියම් අක්‍රමිකතාවයක් පිළිබඳ චෝදනාවක් මත බවටද වාර්තා වේ.

විගණකාධිපතිවරයාගේ සුදුසුකම් මොනවාදැයි 2015 දී එකල රජය විසින් ආණ්ඩුව ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. ඒ අනුව විගණකාධිපතිවරයෙක් විය හැක්කේ වරලත් ගණකාධිකාරී වරයෙකුට පමණි.

එනිසා ධර්මපාල ගම්මන්පිල මහතා එම ධූරයට ස්ථිරව පත් කළ නොහැකි බවද වාර්තාවේ.

මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එක්තරා වෘත්තීය සමිතියක් ගම්මන්පිල මහතා විගණධිපති ලෙස පත්කරන්නේ දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ අත්සන් වලින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇත. එම ලිපිය සදහා ඇතැමුන්ගේ අත්සන් ලබාගෙන තිබෙන්නේ බලහත්කාරයෙන් බවටද වාර්තාවේ.

ව්‍යවස්ථා සභාව වැඩ බැලීම සඳහාවත් ඔහු පත්කිරීමට අවසර ලබා නොදී ඇති තත්ත්වයක් තුළ එම ඉල්ලීමද ප්‍රතික්ෂේප වනු ඇත.

මේ සියල්ල තුළ විගණකාධිපතිවරයෙක් පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබේ.

ව්‍යවස්ථා සභාවේ හැසිරීමත් ,විපක්ෂ කණ්ඩායම් වල හැසිරීමත් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති වල හැසිරීමත් සියල්ල විගණකාධිපතිවරයෙක් පත් කිරීම තුළින් ඉදිරියට යාමට නියමිත පරීක්ෂණ අඩාල කිරීමේ එකම කුමන්ත්‍රණයක කොටස් දැයි සැකයක් ඇතිවේ.

විගණකාධිපතිවරයෙක් නොමැතිවීම නිසා මේ වන විට 2024,2025 වසර වල අවසන් කළ යුතුව තිබූ ආයතන රැසක විගණන විමර්ශන නැවතී ඇත. එසේම විශේෂ විගණන විමර්ශනද කළ නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. කෝප්, කෝපා කමිටුවල වැඩ කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.