සුළි කුණාටු තත්ත්වය නිසා දැඩි ලෙස ආපදාවට පත්වූ පළාත් පහ තුළ උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් එක් ලක්ෂ දාහක් (101000) පමණ සිටින අතර එම සිසුන්ගෙන් පිරිසක් ඍජුවම ආපදාවට ලක් වූ බවත් අනෙක් පිරිස එසේ ආපදාවට ලක්ව නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය “දිනමිණ” ට ඊයේ (08) පැවසුවාය.
මධ්‍යම, උතුර, උතුරුමැද, ඌව, නැඟෙනහිර පළාත් පහ දැඩි ලෙස ආපදාවට ලක්ව ඇති අතර එම පළාත් තුළ මෙම සිසුන් පිරිස සිටින බව ද ඒ මහත්මිය පැවසුවාය.
උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගෙන් ඍජුවම ආපදාවට ලක්ව සිටින සිසුන් සම්බන්ධයෙන් දත්ත, තොරතුරු කඩිනමින් එක්රැස් කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක බවත් ඇතැම් දරුවන්ගේ තොරතුරු නොලැබෙන අතර දරුවන්ගේ දත්ත ලබාගන්නා තෙක් උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනයක් නියම කළ නොහැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
විභාගය පැවැත්වෙන දිනය තීරණය කර නොමැති වුවත් කෙසේ හෝ ජනවාරි මාසය තුළදී විභාගය පැවැත්වීමට පියවර ගන්නා බව ද ඇය පැවසුවාය.
ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් කිහිපදෙනකු මරණයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වන බවත් තවත් දරුවන්ට තුවාල සිදුව ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
තවත් දරුවන් අතුරුදන් වී ඇති බවත් තවත් දරුවන් ආරක්ෂිත මධ්‍යස්ථානවල සුරක්ෂිතව සිටින බවටත් තොරතුරු වාර්තා වන අතර එම තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව ද ඒ මහත්මිය පැවසුවාය.
ආපදාවට ලක්ව සිටින මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් අයදුම්කරුවන් සහ පෞද්ගලික අයදුම්කරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් ඒ බව ළඟම ඇති කලාප අධ්‍යාපන කාර්යාලයට හෝ 1911 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ද ඇය ප්‍රකාශ කළාය.
ආපදාවට ලක්ව සිටින සිසුන් සියලු දෙනාගේම තොරතුරු කඩිනමින් සොයාගෙන ඉන් අනතුරුව ජනවාරි මාසය තුළ අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස පැවැත්වෙන බවත් එම නිසා දිනය ප්‍රකාශ කරන තෙක් බලා නොසිට ජනවාරි මාසය ඉලක්ක කරගෙන සියලුම දෙනාට විභාගයට සූදානම් වන ලෙසට දැනුම් දෙන බවත් ඇය සඳහන් කළාය.
දැනට ආරක්ෂිත මධ්‍යස්ථානවල සුරක්ෂිතව සිටින උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය සටහන් යනාදී සියලු පහසුකම් ලබාදීමට සියලුදෙනා උපරිමයෙන් කටයුතු කළ යුතු බව ද ඇය මතක් කළාය.
පෞද්ගලික අයදුම්කරුවන් සිටින්නේ නම් ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් තොරතුරු, හැඳුනුම්පත් අංකයත් සමඟ 1911 ක්ෂණික දුරකතන අංකයට කතා කර දැනුම් දිය යුතු බව ද ඒ මහත්මිය කියා සිටියාය.
උසස් පෙළ පැවැති දිනයන්හි විභාගයට මුහුණ දුන් දරුවන්ගේ පිළිතුරු පත්‍ර ඉතාම සුරක්ෂිතව පවතින බවත් ඒවායේ මූලික ඇගැයීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඇය පැවසුවාය.
සන්ධ්‍යා කරුණාරත්න








