ආපදා සහයට පැමිණි විදෙස් රටවලට රජයෙන් ස්තූතියක්

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට මාර්ග, දුම්රිය මාර්ග සහ යටිතල පහසුකම් රැසකට හානි සිදු වුණු අත,ර එම ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු සඳහා මෙන්ම පීඩාවට පත්වූවන් වෙනුවෙන් රටවල් ගණනාවකින් මේ වන විටත් ආධාර ලැබෙමින් පවතිනවා.

එලෙස විදේශ රටවලින් ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කරමින් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ආපදා තත්ත්වයන් හමුවේ මෙරටට විදේශ රටවලින් ලබා දුන් සහයෝගය එහිදී පැසසුමට ලක් කෙරුණා.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් මෙම දරුණුතම ව්‍යසනයේදි ජනතාවගේ ශක්තිය සහ රජ්‍ය ආයතනවල මනා සම්බන්ධීකරණය සහ කැපවීම හේතුවෙන් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ දී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවත්, පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචාරක ප්‍රජාවට කිසිදු අනතුරක් හෝ හානියක් සිදුවී නොමැති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය තහවුරු කළා.