නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (07) අලුයම කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රියදුරුවරයෙකි.

සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ සහ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ දුම්වැටි 28,000ක් අඩංගු දුම්වැටි කාටූන් 140ක් මෙහිදී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන 10 වැනි දින ඔහු සහ නිලධාරී භාරයට ගත් දුම්වැටි තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.