ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.