විවෘත අධිකරණයේ විභාගයට ගත් නඩුවකට පෙනී නොසිටි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (3) වරෙන්තු නිකුත් කළේය. 2015 ට පෙර පැවැති රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාල මඟින් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින සිටින විමල් වීරවංශ මහතා දින ගණනාවක් අධිකරණයට නොපැමිණීම සලකා මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.
ඔහුට ඇති නඩුව ඊයේ 3දා විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥ සෙනෙත් බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් කරුණු විමසමින් නඩු ගොනුව පරිශීලනය කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෑත කාලයේ කැඳවා නඩු වාර 7න් දින 5ක්ම විවිධ හේතු කියමින් සැකකාර විමල් වීරවංශ මහතා අධිකරණයට පැමිණ නැති බවය.
අසනීප තත්ත්වයට අදාළ වෛද්‍ය වාර්තාවක් තිබේ ද යන්න මහේස්ත්‍රාත්වරයා නීතිඥවරයාගෙන් විමසා සිටි අතර ඉදිරි දින ඉදිරිපත් කරන බවට කළ සැලකිරීමට අනුව වරෙන්තු නිකුත් කළේය.
ඇපකරුවන්ට නොතීසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ දෙවැනි සැකකාර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකු හැන්නදිගේ යන අයට ඉදිරි දින විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය. ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු අධිකරණ අවසරය මත විදේශගතව ඇති බවත් ලබන 12 වැනිදා මෙරට පැමිණෙන බවත් අධිකරණයට දන්වා සිටියේය.
විමල් වීරවංශ මහතා ඇතුළු දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන 2026 වසරේ මැයි මස 20 යළි කැඳවන ලෙසත් නීතිපතිවරයාට සිහි කැඳවීමක් යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයේ පෙනී සිටියේය.
සුභාෂිණී සේනානායක








