ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහල යමින් පැවතිය ද අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට කැළණි ගඟේ අවසන් ජල මාපකය වන නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටමෙහි පහළ යාමක් දක්නට ලැබුණා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව එහි ජල මට්ටම අඩි 8.1ක් දක්වා පහත බැස තිබූ තිබුණා.
කෙසේ වෙතත්, කැළණි ගඟේ හංවැල්ල ජල මාපකයට අනුව එහි තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර, නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එවන් පසුබිමක, කොළොන්නාව, වැල්ලම්පිටිය, වෙලේවත්ත, අඹගහහන්දිය, අංගොඩ, අඹතලේ, වැලිවිට, නවගමුව, හංවැල්ල, ඇතුළු ප්‍රදේශ රැසක් මෙන්ම ඒවායේ අතුරු මාර්ග ද තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 42,655කට අයත් පුද්ගලයින් 170,000කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා කියා සිටියේ.
නිවාසවල රැදී සිටින පුද්ගලයින්ට ආහාර ලබාදීමට සහ මුදාගැනීම් සඳහා නාවික යාත්‍රා 53 ක් පමණ යොදවා ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ සඳහන් කළේ.
එමෙන්ම, අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටව පවතින අතර, ජාඇල ප්‍රදේශීය ලේකම් නිලංගා ගුණවර්ධන කියා සිටියේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත්වූ පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන 17 රඳවා සිටින බවයි.
මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහවැලි ගගේ දිඹුලාගල, තමන්කඩුව, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, සේරුවිල, කන්තලේ, කින්නියා සහ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා නිකුත් කළ අනතුරු ඇගවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර තිබෙනවා.
මේ හේතුවෙන් පොලොන්නරුව – මනම්පිටිය, සෝමාවතිය පුදබිම අවට ප්‍රදේශය සහ ගල්ලෑල්ල ඇතුළු ප්‍රදේශ රැසක් තවදුරටත් ජලයෙන් යටවයි පවතින්නේ.
මේ අතර, ජලගැලීම්වලට හසුවූ ප්‍රදේශවල නිවසක් පිරිසිදු කිරීම සඳහා රුපියල් දස දහසක් ලබාදීමට තීරණය කර ඇති බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති කියා සිටියා.








