ගංවතුර ලක් වූ ගැබිනි මව්වරුන්ට සුළු හෝ රෝගී තත්ත්වයක් මතු වන්නේ නම්, කඩිනමින් රෝහල්ගත වෙන්න – මහාචාර්ය සනත් ලැනරෝල්

ගංවතුර බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටින ගැබිනි මව්වරුන්ට සුළු හෝ රෝගී තත්ත්වයක් මතු වන්නේ නම්, කඩිනමින් රෝහල්ගත වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

අයහපත් කාලගුණය හමුවේ කඳවුරුවල හෝ ජලයෙන් වට වී ඇති නිවෙස්වල සිටිය ද ගැබිනි මව්වරුන්ට රෝග බෝ වීමේ ප්‍රවණතාව වැඩි බවයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සඳහන් කළේ.

මේ හේතුවෙන් ගැබිනි මව්වරුන් නිරන්තරයෙන් පිරිසිදු ජලය හෝ උතුරවා නිවා ගත් ජලය පමණක් භාවිතා කරන ලෙසද, සබන් යොදා නිරන්තරයෙන් අත් පා පිරිසිදුව තබා ගන්නා ලෙස ද වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.

අධික රුධිර පීඩනය, දියවැඩියාව ඇති ගැබිනි මව්වරුන් සිටිය හැකි නිසා ඔවුන් තමන්ගේ ඖෂධ භාවිතා කළ යුතු බවත්, ගැබිනි මව්වරුන් කඳවුරුවල සිටිනවා නම්, දීර්ඝ වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකී විවේකීව සිටින ලෙසයි වෛද්‍ය සනත් ලැනරෝල් වැඩිදුරටත් පවසා සිටින්නේ.