අවහිර වී තිබුණු මාර්ග රැසක් යළි ගමනාගමනයට විවෘත වෙයි

අයහපත් කාලගුණයත් සමඟ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් අවහිර වී තිබූ මාර්ග රැසක් මේ වන විට යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කරමින් ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඇල්ල – වැල්ලවාය (A23) මාර්ගය ඊයේ (30) දිනයේ සිට යළි ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අඹේපුස්ස – ත්‍රිකුණාමලය (A6) මාර්ගය, ආනමඩුව දක්වා කටුගස්තොට – පුත්තලම (A10) මාර්ගය හා මහියංගණය කොට්ඨාසයේ සියලුම මාර්ග ගමනාගමනයට විවෘත කර ඇ.ි අතර, මහනුවර – මහියංගණය මාර්ගය තවමත් දහඅට වංගුවට ඉහළින් අවහිර වී තිබෙනවා.

මාතලේ – කුරුණෑගල – තල්ගොඩපිටිය – යටවත්ත හරහා දොඹවෙල මාර්ගය ගමනාගමනයට විවෘත අතර, මහනුවර – යාපනය (A9) මාර්ගය ද රථ වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.

එසේම අනුරාධපුරය – ත්‍රිකුණාමලය මාර්ගයත් රථ වාහන ගමනාගමනයට විවෘත කර ඇති අතර, පානදුර – රත්නපුර මාර්ගය ද ගමනාගමනයට විවෘත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.