දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් 19 ක් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි නොවැම්බර් 22 දින සිට නාවික හමුදාව විසින් අනුයුක්ත කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එම නාවික හමුදා සහන කණ්ඩායම් විසින් ආපදා සහන මෙහෙයුම් අද දිනයේදීත් (28) අඛණ්ඩව සිදු කරමින් ඇති අතර, ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පාසැල් ළමුන් ඇතුළු පුද්ගලයන් 911 දෙනෙකු ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම, සැඩ සුළං හේතුවෙන් ඇද වැටුණු ගස් ඉවත් කිරීම, ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව මුදාගැනීම, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින බවයි සඳහන් වන්නේ.
අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා අමතර ආපදා සහන කණ්ඩායම් සෑම නාවික විධානයකම සූදානමෙන් තබා ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.








