දිට්වා නොවැ. 30 හෝ දෙසැ. 01 වනවි​ට ඉන්දියාවට ඇතුළු වේවි – අතුල කරුණානායක

‘දීට්වා’ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කි.මී. 50 ක් දකුණු දෙසින් කේන්ද්‍රගත ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

ඒ අනුව මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහ​ස අඳුරු ස්වභාවය, වලාකුළු වලින් බර තත්ත්වයන් පවතින බවත්, උතුර, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර, සබරගමුව, මධ්‍යම වැනි පළාත්වල මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.

එමෙන්​ම බදුල්ල, මඩකලපුව, ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කවල මිලිමීටර් 150 ඉක්මවන වර්ෂාපතන ඇති විය හැකි අතර, සෙසු පළාත්වල මිලිමීටර් 75 ඉක්මවන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වන්නේ.

මෙම පද්ධතිය මේ වනවිට මදක් සෙමින් ගමන් කරන බවත්, 29 වනදා වනවිටත් මේ හරහා යම් බලපෑමක් එල්ල විය හැකි අතර, 30 වනදා සහ දෙසැම්බර් 01 වනදා වනවිට මෙම පද්ධතිය ක්‍රමයෙන් ඉන්දීය වෙරළ තීරයට ඇතුළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.