පොදු මගී ප්‍රවාහන සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ සේවකයින් සඳහා විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ සේවකයින් අවධානය යොමු කළ යුතු කාරණා සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිරතා පවතින අවස්ථාවලදී බස් රථ ධාවනය කරන විට පොලිස් මාර්ග බාධක යොදා ඇත්නම්, එම ස්ථානයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ උපදෙස් තරයේ පිළිපදින ලෙස දන්වා සිටින බවත්, ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මාර්ගය අපැහැදිලි ස්ථානවලට බස් රථය ඇතුළු කිරීම කිසිදු හේතුවක් මත සිදු නොකරන ලෙස තරයේ දන්වා සිටින බවයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමේදී බස් රථයේ ගමන් කරන මගීන් ඒ පිළිබඳව දැනුවත් කළ යුතු අතර, විකල්ප මාර්ග භාවිත කිරීමේදී මගීන්ව ඔවුන්ගේ ගමනාන්තය කරා ගෙන යාමට නොහැකි අවස්ථාවක් ඇති වුවහොත්, ඒ පිළිබඳ දැනුවත් කර ඔවුන්ව ආසන්නතම ප්‍රධාන බස් නැවතුම්පොළට යොමු කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකම මගීන් නියමිත ගමනාන්තයට රැගෙන යාමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

තව ද විකල්ප මාර්ග භාවිත කිරීමේදී අධික වංගු සහිත මාර්ග, බෑවුම් සහිත මාර්ග සහ පටු මාර්ගවල ධාවනය කිරීමට සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ පරීක්ෂාකාරී වන ලෙස රියදුරු සහ කොන්දොස්තරවරුන්ට විශේෂයෙන් දැනුම් දී තිබෙනවා.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුව ද මගීන්ට ආරක්ෂාකාරී හා ගුණාත්මක පොදු මගී ප්‍රවාහන සේවාවක් ලබා දීම සම්බන්ධයෙන් අගය කිරීමක් සිදු කර ඇති අතර, අවශ්‍ය සෑම අවස්ථාවක දීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සම්බන්ධ කර ගැනීමට ක්ෂණික ඇමතුම් අංකය වන 1955 අමතන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images