අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලයින් 56 ක් මරුට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලයින් 56 ක් මේ වනවිට මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ පවසනවා.

එසේම මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 12,313 කට අයත් පුද්ගලයින් 43,991 ක් පීඩාවට පත්ව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

පුද්ගලයින් 14 ක් තුවාල ලබා ඇති අතර, පුද්ගලයින් 21 ක් මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අතුරුදන් වී ඇති බවත්, පූර්ණ නිවාස හානි 4 ක් හා අර්ධ නිවාස හානි 616 ක් සිදු වී තිබෙන බවත් වාර්තා වනවා.

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මහ ගංවතුර තත්ත්වය නිවේදනය කර ඇති ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව දැඩි විමසිලිමත් වන ලෙසත්, හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.