මහවැසි, සුළං, අකුණු ගැන අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරනවා.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී. 200ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (60-70)ක පමණ ඉතා තද සුළං ඇති විය හැකි බවටයි වාර්තා වෙන්නේ.

තද වැසි සහ තද සුළං මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.