නාමල් රාජපක්ෂ මහතා කළ යුත්තේ තමන්ට එල්ල වී ඇති චෝදනාවට තමන් විසින්ම පිළිතුරු දීම මිස වෙනත් අය ලවා පිළිතුරු දීම නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී නොව නුගේගොඩදී පිළිතුරු දෙන බව පැවසුව ද එහෙත් එවැන්නක් කොහේදිවත් ඇසුනේ නැති බව හෙතෙම කීවේය. නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ නිවැරදි බව ඔප්පු කර එලෙස නොකරන අයට ඉන් පසු අභියෝග කළ හැකි බව ඇමැතිවරයා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මම කළේ චෝදනාවක් නෙවෙයි. සමාජ මාධ්‍ය, වෙබ් සයිට් කිහිපයකම සම්පූර්ණ වාර්තාවක් පළ කරලා තිබුණා. මම කිව්වේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයට ඇවිල්ලා එතුමට තිබෙන කළු පැල්ලම නිවැරදි කරගන්න පාර්ලිමේන්තුවේ අවස්ථාවක් තිබෙන එක ගැන. පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කියන්නේ නැතුව නුගේගොඩදි කියනවා කිව්වා. හැබැයි මට ඇහුනේ නැහැ කොහේදිවත් ඒ ගැන කියනවා.
හොඳම වැඩේ තමයි අනිත් අයගේ කළු පැල්ලම් හොයන්න දෙයක් නැහැ තමන්ට කළු පැල්ලමක් හෝ දෝෂාරෝපණයක් එල්ල කළා නම් පාර්ලිමේන්තුවේ හෝ මාධ්‍ය ඉදිරියේ අවස්ථාවක් යොදාගෙන එය නිවැරදි කරගන්න එක.
පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගන්න නම්, නාමල්ට පුළුවන් ඇවිල්ලා තමන්ට චෝදනාවක් එල්ල වෙනව නම්, එය නිවැරදි කරගන්න. තමන් වෙනුවෙන් වෙන කෙනෙක් කතා කරලා පලක් නැහැ. අනිත් අයටත් එවැනි චෝදනා තිබෙනව නම්, තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතා කරන්න. වෙන කෙනෙක් ඉදිරිපත් නොකළයි කියලා තමන් ඉදිරිපත් නොකිරීම සාධාරණ තර්කයක් නෙවෙයි.
නුවන් කොඩිකාර








