නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති අතර, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති වීමේ හැකියාව පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.








