ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවක දී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවය.
දිවයිනට ඉහළින් තිබෙන අඩු පීඩන කලාපය සහ දකුණු අන්දමන් දූපත් අසල තිබෙන පීඩන අවපාතය හේතුවෙන් අද 26 සිට 30 දින දක්වා පමණ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී 150ට වැඩි වර්ෂාපතනයන්, සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවැසීය.
එම නිසා ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ගංඟාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා අදාළ ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. ජලාශ ගණනාවක් වාන් දමමින් පවතී.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැඟෙනහිර, මධ්‍යම, ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා අද පස්වරුව දක්වා වලංගුවන පරි දී තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. තද වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. අද (26) පස්වරු 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් වලංගු වේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 2617ක් ඊයේ (25) පෙරවරුව වන විට බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය දෛනික තත්ත්ව වාර්තාව නිකුත් කරමින් සඳහන් කරයි. මියගිය ගණන 10කි. තුවාල ලැබූවන් සංඛ්‍යාව 07කි. පූර්ණ නිවාස හානි 03ක් බවත් අර්ධ නිවාස හානි 242ක් බවත් එහි සඳහන් වේ.
ඊයේ (25) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මි.මී.146.1ක් ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් වාර්තා විය. විදුලි බලාගාර ආශ්රිත ජලාශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත.
උපාලි කරුණාරත්න








