ගල්ඔයට සුළු ගංවතුරක් – මඩකලපුවේ ගංගා ද්‍රෝණි තුනකටත් අනතුරු ඇඟවීම්

ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.

මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතුයි.

අද (26) දහවල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසා සිටියේ ඊයේ (25) දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 225ක් අම්පාරින් වාර්තා වූ බවය.

මේ වනවිට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර නොමැති වුවත් සෙසු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ද සූරියබණ්ඩාර මහතා පැවසීය.

අධික වර්ෂාපතනය හේතුවෙන් මේවනවිට දිවයිනේ ප්‍රධාන වැව් 25ක් සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් 26ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංගා ද්‍රෝණි තුනක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සෝමාවතිය හා මනම්පිටිය යන ප්‍රදේශයන් අද සවස් වනවිට ජලයෙන් යටවීමට ඉඩ ඇතැයි ද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේය

යාන්ඔය පහළ ප්‍රදේශවල සිටින ජනතාව හා එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් වඩාත් විමසිලිමත් වන ලෙසත් විශේෂයෙන් කුච්චවේලි, පදවි ශ්‍රී පුර, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිමත් වෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණියට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුපර්ත්තු හා කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආරු ආශ්‍රිත පහත්බිම්වලට මෙතැන් සිට ඉදිරි පැය 48 දක්වා ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මාදුරු ඔය ද්‍රෝණියේ කෝරලෙයි පත්තු, කෝරලෙයි පත්තු බටහිර, කෝරලෙයි පත්තු උතුර, එරාවුර් පත්තු, මහඔය, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, දිඹුලාගල, වැලිකන්ද හා මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මාදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට මෙතැනි සිට ඉදිරි පැය 24 සඳහා ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතී.