බලංගොඩ නායයාමේ අවදානමක් : පුද්ගලයින් පිරිසක් ආරක්ෂිත ස්ථානවලට

බලංගොඩ, පෙට්ටිගල ප්‍රදේශයේ නායයාමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

දින කිහිපයක සිට ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග පෙටිටිගල ප්‍රදේශයේ නායයාමේ ලක්ෂණ මතු විම හේතුවෙන් ඔවුන් ඉවත් කළ බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම බණ්ඩාරවෙල, කුඹල්වෙල සිදුවූ නායයාමකින් නිවසකට හානි සිදුව තිබෙනවා.

මේ අතර උඩුගම, පන්විලහේන ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් ද නිවාස 4 කට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 11කට නිකුත් කර තිබූ නායයෑමේ අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා මෙය බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

මේ අතර වර්ෂාවත් සමඟ කඹුරුපිටිය, මුලටියන මාර්ගය මාකඳුර ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් බර වාහන පමණක් අදාළ මාර්ගයේ ගමන් කරන බවයි.