කුඩු කිලෝ 152 ක් ප්‍රවාහනය කළ වැරදිකරුවන්ට පැනවූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කරයි

2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 152 කට අධික ප්‍රමාණයක් දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් අද තහවුරු කර තිබෙනවා.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින්, පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ චෝදනාවලට වරදකරු කරමින් තමන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට මහාධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැණි බවත්, ඒ අනුව තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන්ට මහාධිකරණය විසින් පනවනු ලැබූ දඬුවම අනුමත කරමින් ඔවුන්ගේ අභියාචනා ඉවත දැමීමට තීන්දු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.