අධිකරණ සේවා කොමිෂන් සභාව ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සිදුවන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය අද (21) දින කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ නිලධාරීන් ආශ්‍රිත පත් කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් සහ විනය පාලන බලතල ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා තිබෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම මෙම යෝජනාවට අත්සන් කර ඇති අතර, මෙම යෝජනාව දයාසිරි ජයසේකර සහ දිලිත් ජයවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයාට භාර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.