දිනකට පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි 25 ක් ලැබෙනවා – ආනන්ද විජේපාල

දිනකට පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි 25 ක් පමණ වාර්තා වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

විශේෂයෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා වන බවයි අද (20) පාර්ලිමේන්තු අයවැය විවාදයේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

උතුරු පළාත ගත් විට, 2020 වසරේ දී සයිබර් අපරාධ 24 ක්, 2021 වසරේ දී 577 ක්, 2022 වසරේ දී 654 ක්, 2023 වසරේ දී 472 ක් හා 2024 වසරේ දී 1,539 ක් ලෙස පැමිණිලි වාර්තා වි ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2025 ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ සයිබර් අපරාධ 2,368 ක් වාර්තා වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

රට තුළ බොහෝ දිස්ත්‍රික්කයන් හි පොලිස් මූලස්ථාන මූලික කරගෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ උප ඒකකයන් ආරම්භ කර ඇති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් සඳහන් කර සිටියේ.