රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීම් සඳහා රුපියල් බිලියන 330ක ප්රතිපාදනයක් වෙන්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය.
රාජ්‍ය සේවාවේ වැටුප් වැඩි කිරීමට 2025 වසරට රුපියල් බිලියන 110ක් ද, 2026 සඳහා රුපියල් බිලියන 110ක් ද, 2027 සඳහා තවත් රුපියල් බිලියන 110ක් ද ලෙස රුපියල් බිලියන 330ක් වෙන්කර ඇති බවත් පැවසීය. වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක ගෞරවනීය සේවාවක් පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම වැටුප් වැඩි කිරීම සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය සේවාව ශක්තිමත් කරමින් දහස් ගණනක බඳවා ගැනීම් මේ වන විට සිදු කරන බවත් ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳීමට ද මේ වන විට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.
ග්‍රාම නිලධාරි පුරප්පාඩු 1,938ක් බඳවා ගැනීම්වලට අයදුම්පත් කැඳවා තිබෙන්නේ යැයි ද, රෙජිස්ට්‍රාර් සේවාවට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය. රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක කළ අතර ඒ වන විටත් රාජ්‍ය සේවකයන්ට දිගු කාලයකින් වැටුප් වැඩි වී නොතිබූ බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු දීමනා ප්‍රතිපාදන වැඩිකර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ධාරිතාව වැඩි කිරීමට ඉන්දියානු සහාය ඇතිව වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති අතර 1,500ක නිලධාරීන් පිරිසක් වසර 5කදී පුහුණු කිරීමට වැඩසටහන් සංවිධාන කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.
රැකියාවේ ගුණාත්මක බව වැඩි කිරීමට එම පුහුණු වැඩසටහන් හේතු වන බවත් නිලධාරීන් ඉන්දියාවට ගොස් අදාළ පුහුණුව ලැබිය යුතු අතර දැනට නිලධාරීන් 243කට ඉන්දියානු රජයෙන් මෙම පුහුණුව ලබාදී තිබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර,
සන්ධ්‍යා කරුණාරත්න








