අද කාලගුණ නිවේදනය

නොවැම්බර් 22 දින පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද දිනයේ උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.