සබරගමු සිසුවාගේ මරණය ගැන නීතිඥ සංගමය ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු නවක වද තත්ත්වයකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) අවසර ලබාදී තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස එම විශ්වවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින් ඇතුළු 69 දෙනෙකු නම් කර තිබුණා.

මෙම පෙත්සම ඊයේ සලකා බැලුණේ යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

ඒ අනුව නවකවධය වැළැක්වීමේ පනත යටතේ නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට විභාග කොට අවසන් වූ සහ දැනට විභාග වෙමින් පවතින සිද්ධීන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවකවධ සිද්ධීන් සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා.

ඊට අමතරව මෙම සරසවියේ නවක වදය හේතුවෙන් පීඩාවට පත්වූ සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙතද නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල තවත් අතුරු නියෝග ගණනාවක්ද නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම යළි ලබන වසරේ අප්‍රේල් මස 29 වැනිදා සලකා බැලෙනු ඇති.