පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ පනත සම්මත වීමෙන් පසුව ඉදිරියේදී කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇති බව හෙතෙම කීවේය. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා කියා සිටියේය. ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබෙන බවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන දැක්මට සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට රජය ලබා දුන් පොරොන්දුව අනුව එය ඉටු කරන බවත් ඇමැතිවරයා පැවසීය. මෙතෙක් විශ්‍රාම වැටුප් ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් එම මුදල් අය කර ගැනීමක් සිදු නොවන බව පැවසූ ඇමැතිවරයා පනත ක්‍රියාත්මක වන දවසේ සිට සියලු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වන බව කියා සිටියේය.
නුවන් කොඩිකාර








