පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් භාරගෙන මෙරට වෙරළ තීරයට රැගෙන ආ බවට සැකකරන බහුදින යාත්‍රාවක සිටි 07 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යාත්‍රාව නාවික හමුදාව විසින් පන්නමින් සිටියදී එහි තිබූ මත්ද්‍රව්‍ය තොගය මහ මුහුදට දමා ඇතැයි සැක කෙරේ. මහ මුහුදට දැමූ බවට සැකකරන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් අඩංගු ගෝණි 02ක් නාවික හමුදාව විසින් සොයාගෙන ඊයේ ගොඩබිමට රැගෙනවිත් බේරුවල පොලීසියට භාර දී ඇත. එම ගෝණි දෙකේ පැකට් 41ක මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත.
මුහුදු සැතපුම් 3කට ආසන්න දුරක මුහුදේ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක ගෝණි දෙකක් පාවෙමින් තිබෙන බවට කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක කේ.කේ. දයාසේන මහතාට ලද තොරතුරක් මත නාවික හමුදාව දැනුම්වත් කිරීමෙන් පසු නාවික හමුදා යාත්‍රාවක් උපයෝගී කරගන එම ගෝණි දෙක බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ මධ්‍යම යාන්ත්‍රික වැඩපළ අංගණය වෙත රැගෙන එන ලදි.
බෙන්තොට පොලීසියේ නිලධාරීන් ද ඊයේ උදෑසන කිලෝ 25ක් 30ක් පමණ බරැති මත්ද්‍රව්‍ය පාර්සලයක් වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත.
බෙන්තොට හෝටලයක් පිටුපස මුහුදු වෙරළේ මෙම පාර්සලය තිබූ බව බෙන්තොට පොලීසිය කියයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත බෙන්තොට පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා විසින් මෙම පාර්සලය පරීක්ෂා කර බලා පොලීසියේ භාරයට ගෙන ඇත.
මෙම පාර්සලය ජලයෙන් හානි නොවන පරිද්දෙන් හොඳින් ආවරණය කර තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකරන බහුදින යාත්‍රාව, නාවික හමුදාව විසින් කොටුකරගෙන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් ඇත්තේ පෙරේදා (17) ය. එහි සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්ඕවිට ධීවර වරායේදීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තොඩුවාව දුන්කන්නාව, ගලෙන්බිඳුණුවැව, දුම්මලසූරිය, ආණමඩුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 45ත් 31ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.
ධීවර කටයුතුවල නිරත වන ධීවරයන් රැගත් බහුදින යාත්‍රා, එම යාත්‍රා මහ මුහුදේ ඇති ස්ථාන සහ ගමන් මාර්ග හඳුනා ගැනීමට වී.එම්.එස්. සංඥා ක්‍රියාත්මකය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් යාත්‍රාව ධීරව කටයුතු සඳහා ගමන් කිරීමේදී මෙම පද්ධතිය ක්‍රියාත්මකව තිබුණත් අතරමඟදී එය අක්‍රිය කර තිබී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එසේ එම පද්ධතිය අක්‍රිය කර තිබීම ද සැකයට තුඩු දී ඇත.
මෙම යාත්‍රා නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා විට ඒ තුළ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නැත.
ගයාන් කුමාර වීරසිංහ, ජයකාන්ත ලියනගේ – බළපිටිය විශේෂ, අලුත්ගම-තුසිත කුමාර ද සිල්වා, පානදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක, ගල්පාත – චන්දන පෙරේරා








