භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති ඇප මත මුදා හැරීමට නියෝග

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මෙම සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත්, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

2020 ජනවාරි 30 වැනිදා ඩී. අනූපමා නමැත්තිය අදාළ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) තනතුර සඳහා විධිමත් ආයතනික පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් බඳවා ගැනීම තුළින් ඇයට වාසියක් සලසා, ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව යළි ජනවාරි 23 වැනිදා කැඳවීමට නියම කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.